ජීවිතය කියන්නේ හැමදාම එකම විදිහට ගලාගෙන යන දෙයක් නෙමෙයි. සමහර වෙලාවට අපිට හිතෙනවා මුළු ලෝකයම අපිට එරෙහි වෙලා කියලා. නමුත්, ඔබ දන්නවාද? ඔබ මුහුණ දෙන ප්‍රශ්නයට වඩා, ඒ ප්‍රශ්නය දෙස ඔබ බලන “කෝණය” ඔබේ ජීවිතයේ සතුට තීරණය කරන බව.
ධනාත්මක චින්තනය කියන්නේ නිකම්ම හීන දැකීමක් නෙමෙයි. ඒක අභියෝග මැද නොසැලී සිටීමේ මානසික ශක්තියයි. අද අපි කතා කරමු ඔබේ ජීවිතය අලුත් මගකට යොමු කරන සරල පියවර කිහිපයක් ගැන.
1. අසාර්ථකත්වය යනු අවසානය නොවේ (Failure is a Lesson)
බොහෝ දෙනෙක් වැටුණු තැනින් නැගිටින්නේ නැත්තේ තමන් අතින් වුණු වැරැද්ද ගැනම පසුතැවෙන නිසයි. මතක තබාගන්න, ලෝකය දිනූ සෑම පුද්ගලයෙකුම දහස් වාරයක් පැරදුණු අයයි.
ධනාත්මකව වෙනස් වෙන්න : “මට මේක බැරි වුණා” කියන සිතුවිල්ල “මම මේකෙන් අලුත් දෙයක් ඉගෙන ගත්තා” කියන තැනට පත් කරගන්න.
2. ඔබ ඔබටම පවසාගන්න:
දවස පුරා ඔබ ඔබේ සිත ඇතුළෙන් ඔබටම පවසන දේවල් මොනවාද? “මට මේක කරන්න බැහැ”, “මම අවාසනාවන්තයි” වැනි වචන ඔබේ ශක්තිය හීන කරයි.
ධනාත්මක වෙනස් වෙන්න: උදෑසන අවදි වූ ගමන් කණ්ණාඩිය ඉදිරියට ගොස් “අද මම මගේ උපරිමය කරනවා, මට මේ දවස ජයගන්න පුළුවන්” කියා ශබ්ද නගා පවසන්න.
3.ස්තූතිවන්ත වෙන්න :
අපිට නැති දේවල් ගැන හිතමින් දුක් වෙනවාට වඩා, අපිට දැනට ලැබී ඇති පුංචි දේවල් ගැන සතුටු වෙන්න පටන් ගන්නා මොහොතේ ඔබේ ජීවිතය ලස්සන වෙන්න පටන් ගනීවි.
ධනාත්මක වෙනස් වෙන්න: සෑම දිනකම නින්දට පෙර ඔබට ලැබුණු ආශීර්වාද 3ක් මතක් කරන්න. එය ආදරණීය පවුලක්, හොඳ යාළුවෙක් හෝ අද දවසේ ඔබ ලැබූ රසවත් කෑම වේලක් වුවත් විය හැකියි.
4. සෘණාත්මක පුද්ගලයන්ගෙන් ඈත් වන්න
”ඔයාට ඕක කරන්න බැහැ” කියන, හැමදේකම වැරදි දකින අය ඔබේ වටපිටාවේ ඉන්නවා නම්, ඔබේ ධනාත්මක චින්තනය පවත්වා ගැනීම අපහසුයි.
ධනාත්මක වෙනස් වෙන්න: ඔබට දිරිගන්වන, ඔබේ දියුණුවට උදව් කරන සහ සුබවාදීව හිතන මිනිසුන් වැඩිපුර ඇසුරු කරන්න.
5.මේ මොහොතේ ජීවත් වන්න (Live in the Moment)
අතීතයේ වුණු වැරදි ගැන පසුතැවීමෙන් හෝ අනාගතය ගැන අනියත බියක් ඇති කරගැනීමෙන් ඔබ කරන්නේ වර්තමානය විනාශ කරගැනීමයි. අද දවස ඔබ සතු එකම වස්තුවයි. එය සතුටින් සහ ඵලදායීව ගත කරන්න.
අවසාන වශයෙන්: >
ධනාත්මකව සිතීමෙන් ප්‍රශ්න නැති වෙන්නේ නැත. නමුත් එම ප්‍රශ්න වලට මුහුණ දීමට අවශ්‍ය “කොන්ද පණ ඇති” මිනිසා ඔබ තුළින් බිහි වේ. ඔබ සිතන ආකාරය වෙනස් කරන්න, එවිට ඔබේ මුළු ලෝකයම වෙනස් වන ආකාරය ඔබට දැකගත හැකි වනු ඇත.










