Written by 10:34 pm Environment Views: 14

පන්ච්: පුළුන් පිරවූ සෙල්ලම් බඩුවක් තුළ මව් සෙනෙහස සෙවූ අහිංසකයා

හ්ම්ම්….සෙනෙහස කියන දේට භාෂාවක් නැහැ. ඒ වගේම ඒක මිනිසුන්ට විතරක් අයිති වුනු සීමා වුනු දෙයකුත් නෙවෙයි. ඒ කතාව ආයේ මතක් කරන දෙයක් තමා ජපානයේ ඉචිකාවා සත්වෝද්‍යානයෙන් ඇසෙන “පන්ච්” (Punch) නම් කුඩා වඳුරු පැටවාගේ කතාව, ඒ සිදුවීම අපිට කියන්නේ ලෝකයේ තියෙන අතිශය දුක්බර ඒත් ආදරණීය පාඩමක්.

උපතින්ම උරුම වූ තනිකම….

පන්ච් මෙලොවට බිහිවුණේ මව් සෙනෙහස හිමි දරුවෙක් විදිහට වුණත්, ඉරණම ඔහුට සරදම් කළා. ඉතින් ඔහුගේ මව ඔහුව භාරගන්න ප්‍රතික්ෂේප කරද්දී, ඒ පුංචි හදවතට දැනෙන්න ඇති අසරණකම වචනයෙන් විස්තර කරන්න බැහැ. සත්වෝද්‍යාන පාලකයින් ඔහුට කිරි දුන්නා, උණුසුම දුන්නා.ආදරය දුන්නා.ඒත් වඳුරු පැටවෙකුට පමණක් නෙවේ ලොව අපි හැමෝටම අවශ්‍ය අන් කිසිවකටවත් සම කළ නොහැකි මවගේ උණුසුම සහ ඒ සෙනෙහස අතර සැඟවී තිබෙන උණුසුම පාලකයින්ට දෙන්න බැරි වුණා.දන්නවද?….

අජීවී සෙල්ලම් බඩුවක් “අම්මා” වූ හැටි..

තනිකම දරාගන්න බැරිම තැන, පාලකයින් ඔහුට දුඹුරු පැහැති, පුළුන් පිරවූ ඔරංඔටන් සෙල්ලම් බඩුවක් ලබා දුන්නා. එතැන් පටන් පන්ච්ගේ ලෝකය වුණේ ඒ අජීවී රූපයයි.අපි කාටවත් හිතාගන්න බැරි විදියට පන්ච් ඒක එයාගේ ආදරය කරගත්තා…

  • ඔහු නිදාගත්තේ ඒ සෙල්ලම් බඩුව තදින් බදාගෙන.
  • ඔහු කිරි බීවේ ඒ සෙල්ලම් බඩුව උඩ ඉඳගෙන.
  • බයක් දැනුණු හැම මොහොතකම ඔහු දිව ගියේ තමන්ගේ මේ “පුළුන් අම්මා” ළඟට.

අපිට ඒක රෙදි කෑල්ලක් නැත්නම් පණ නැති සෙල්ලම් බඩුවක් වුණාට, පන්ච්ට ඒක තමන්ගේ මුළු ලෝකයම වුණා. පන්ච් ඒ සෙල්ලම් බඩුව බදාගෙන ඉන්න පින්තූර දකිද්දී, අපේ ඇස්වලට කඳුළු එන්නේ ඒ නිහඬ ආදරය ඇතුළේ තියෙන අහිංසකකම නිසයි.

ජීවිතයට මුහුණ දීම

දැන් පන්ච් ටික ටික ලොකු වෙනවා. ඔහුව නැවතත් වඳුරු රංචුවට එකතු කරන්න උත්සාහ කරනවා. මුලදී ඔහු ගොඩක් බය වුණා. අනෙක් වඳුරන් ඉස්සරහට යද්දීත් ඔහු හෙව්වේ තමන්ගේ සෙල්ලම් බඩුවයි. ඒත් දැන් ඔහු හෙමින් හෙමින් තනිවම නැගිටින්න උත්සාහ කරනවා.

අවසාන වශයෙන්…

පන්ච්ගේ කතාව අපිට මතක් කරලා දෙන්නේ එකම දෙයයි. ලෝකයේ තියෙන වටිනාම සහ බලවත්ම දේ අම්මාගේ “ආදරය” සහ “සෙනෙහස” කියන එකයි. ඒක නැති තැන අජීවී සෙල්ලම් බඩුවක් වුණත් පණ ඇති අම්මා කෙනෙක් වගේ දැනෙන්න ගන්නවා.

කෙසේවෙතත් පන්ච් දැන් ක්‍රමයෙන් සමාජගත වීමට ඉගෙන ගනිමින් සිටින බවත්, ඔහුගේ උත්සාහයට සහ ශක්තියට සහයෝගය දක්වන ලෙසත් සත්වෝද්‍යාන පාලකයින් ඉල්ලීමයි.

ඒ වගේම පන්ච් දැන් ඉතාමත් ශක්තිමත් පැටවෙක් විදිහට හැදී වැඩෙනවා. ඔහුට අනෙක් වඳුරන්ගෙන් දොස් ඇසුණත් (scolded), ඔහු ඉක්මනින්ම එය අමතක කරලා නැවතත් ඔවුන් සමඟ මිතුරු වෙන්න උත්සාහ කරනවා කියලා X (Twitter): @ichikawa_zoo
හි දැනුවත් කර තිබෙනවා.

“පන්ච්, ඔයාට අපි ගොඩාක් ආදරෙයි..ඔයාටඉක්මනින්ම සැබෑ මිතුරන් සහ ආදරය ලැබෙන රංචුවක සාමාජිකයෙක් වෙන්න ශක්තිය ලැබේවා!”

HangInTherePunch

MotherLove#HeartWarming

Visited 14 times, 1 visit(s) today
Close