ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් මහත් ගෞරවයෙන් වැළඳගත් සනත් ජයසූරිය මහතාගේ ප්‍රධාන පුහුණුකරු ධුර කාලය අදින් (28) අවසන් වීමට නියමිතය. විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ පාකිස්තානයට එරෙහිව පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙන තරගය, ඔහුගේ පුහුණුකාරිත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන අවසන් තරගය ලෙස සටහන් වේ.
තීරණයේ වෙනසක් නැත
මෙම තරගාවලිය ආරම්භ වීමට පෙර සිටම සනත් ජයසූරිය මහතා ප්‍රකාශ කර තිබුණේ ලෝක කුසලානයෙන් අනතුරුව තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බවයි. තම කොන්ත්‍රාත් කාලය තවදුරටත් ඉතිරිව තිබියදීත්, එම තීරණයේ කිසිදු වෙනසක් නොමැති බව ඔහු මෑතකදී මාධ්‍ය වෙතද තහවුරු කර තිබුණි.
ජයසූරියගේ පුහුණුකරු ගමන්මග
2024 වසරේ ජූලි මාසයේදී ඉන්දියාවට එරෙහි තරගාවලියේදී තාවකාලික පුහුණුකරු ලෙස වැඩ භාරගත් සනත්, පසුව එම වසරේම අගභාගයේදී පූර්ණ කාලීන ප්‍රධාන පුහුණුකරු ලෙස පත් විය.
සංඛ්‍යාලේඛනවලට එහා ගිය සේවයක් ඉටු කළ සනත් ජයසූරිය මහතා, ශ්‍රී ලංකා කණ්ඩායම පසුබෑමකට ලක්ව සිටි මොහොතක වගකීම භාරගත් අයෙකි. ඔහුගේ ධුර කාලය තුළ තරග 74කදී ජයග්‍රහණ 34ක් ජය ගෙන ඇත.










