කොළඹ: ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ ජපාන ස්වයං ආරක්ෂක සමුද්‍රීය බලකායට (JMSDF) අයත් “ONAMI” නෞකාවේ සිටි රෝගී වූ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් වී තිබේ.
හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙම නාවිකයාට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා සහාය වන ලෙස කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත ඉල්ලීමක් ලැබී තිබුණි. ඒ අනුව ක්‍රියාත්මක වූ නාවික හමුදා මූලස්ථානය, බටහිර නාවික විධානයට අනුයුක්ත යාත්‍රාවක් වෛද්‍ය කණ්ඩායමක් ද සමඟ වහාම අදාළ මුහුදු ප්‍රදේශය වෙත යොමු කරන ලදී.
අදාළ රෝගියා නාවික හමුදා යාත්‍රාව වෙත ලබා ගැනීමෙන් පසු, මුහුදේදී ම මූලික ප්‍රථමාධාර ලබා දෙමින් කඩිනමින් කොළඹ වරාය වෙත රැගෙන ඒමට කටයුතු කෙරිණි. අනතුරුව ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත යොමු කළ බව නාවික හමුදාව නිල වශයෙන් තහවුරු කරයි.










