Written by 10:27 pm News, Local News Views: 652

මාර්ග නීති කඩ කළ උතුරේ යතුරුපැදි පෙළපාලියේ තිදෙනෙක් පොලිස් දැලට

උතුරු පළාතේ පසුගියදා පැවැති සැමරුම් උත්සවයන්ට සමගාමීව, මාර්ග නීති සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් ධාවනය වූ යතුරුපැදි පෙළපාලියක සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පුදුකුඩිඉරුප්පු පොලිසිය සමත්ව තිබේ.

පසුගිය මැයි 18 වනදා උතුරු පළාතේ පැවැති සැමරුම් උත්සවයක් අතරතුර මෙම යතුරුපැදි පෙළපාලිය ගමන් කර ඇති අතර, එහි සිටි පිරිස් හිස්වැසුම් පවා නොමැතිව අනතුරුදායක ලෙස ධාවනයෙහි යෙදෙන ආකාරය දැක්වෙන වීඩියෝ සහ ඡායාරූප සමාජ මාධ්‍ය ජාලාවල දැඩි ලෙස සංසරණය විය.

මෙම දර්ශන ඔස්සේ කිලිනොච්චිය සහ පුදුකුඩිඉරුප්පු පොලිස් ස්ථාන මගින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබුණි. එහිදී වීඩියෝ පටවල සටහන්ව තිබූ හිස්වැසුම් රහිතව ගමන් කළ එක් යතුරුපැදියක අංක තහඩුව ඔස්සේ එහි ලියාපදිංචි හිමිකරු සිටින ප්‍රදේශය සොයා ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකි විය.

ඒ අනුව කිලිනොච්චිය ප්‍රදේශයේදී අදාළ හිමිකරු සොයාගෙන සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම් සහ ඒකාබද්ධ විමර්ශනවලින් අනතුරුව, මෙම පෙළපාලියට සම්බන්ධ සෙසු සැකකරුවන් තිදෙනා අද (23) දින අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පොලිස් වාර්තාවලට අනුව, මෙම පිරිස පුත්තූර් හන්දියේ සිට කොඩිකාමම් සහ කිලිනොච්චිය දෙසටත්, අනතුරුව විශ්වමඩු හන්දියේ සිට මුලතිව් පාර ඔස්සේ වෙල්ලමුල්ලිවයික්කාල් දක්වාත් මාර්ග නීති කඩ කරමින් ගමන් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ආරක්ෂාව සහ මාර්ග නීති උල්ලංඝනය කිරීමේ ප්‍රතිපාදන යටතේ ඉදිරි නීතිමය පියවර ගැනීමට නියමිත අතර, පුදුකුඩිඉරුප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Visited 652 times, 1 visit(s) today
Close