වෙසක් සහ පොසොන් වැනි සුවිශේෂී ආගමික උත්සව සදාචාරාත්මකව සහ බෞද්ධ ප්‍රතිපත්තීන්ට ගරු කරමින් සැමරීම උදෙසා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඒ අනුව මින් ඉදිරියට දන්සල් සඳහා ජනතාව ආකර්ෂණය කර ගැනීමට බෞද්ධ කොඩි භාවිත කිරීම තහනම් වන අතර, ඒ වෙනුවට කහ පැහැති කොඩි පමණක් භාවිත කළ යුතු බව රාජ්‍ය පාර්ශවයෙන් දැනුම් දී ඇත.
රාජ්‍ය වෙසක් උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් බෞද්ධ කටයුතු කොමසාරිස් (සංවර්ධන) අසේල මධුසංඛ මහතා මේ බව අනාවරණය කළේය.
අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව දැඩි තීරණයක්
බෞද්ධ කොඩිය යනු සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේම උත්තරීතර ආගමික සංකේතයකි. එබැවින් දන්සල් වැනි ස්ථානවලට සෙනඟ කැඳවීම සඳහා පාරවල් හරහා බෞද්ධ කොඩි ප්‍රදර්ශනය කිරීම, රථ වාහන නැවැත්වීමට බෞද්ධ කොඩි සෙලවීම සහ උත්සව අවසානයේ එම කොඩි නිසි ගෞරවයකින් තොරව පරිහරණය කිරීම හේතුවෙන් බෞද්ධ ධජයට සිදුවන අවමානය වැළැක්වීම මෙම තීරණයේ ප්‍රධාන අරමුණ වී තිබේ.
මෙම නව නීති රීති ඇතුළත් චක්‍රලේඛය අමාත්‍ය මණ්ඩල (කැබිනට්) අනුමැතිය ඇතිව නිකුත් කර ඇති බව හෙතෙම අවධාරණය කළේය.
“දන්සල් සඳහා ජනතාව යොමු කිරීමේදී බෞද්ධ කොඩිය භාවිතා නොකොට, ඒ සඳහා කහ පැහැති කොඩියක් පමණක් භාවිත කරන්නැයි අපි දැනුම් දෙනවා. මේ වෙනකොටත් සියලුම දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු, ශාසනාරක්ෂක බලමණ්ඩලවල ස්වාමීන් වහන්සේලා මෙන්ම පොලිස්පතිවරයාව ද මේ සම්බන්ධයෙන් දැනුම්වත් කර අවසානයි.”
– බෞද්ධ කටයුතු කොමසාරිස් (සංවර්ධන) අසේල මධුසංඛ
නොගැලපෙන පූජාවන් සහ ක්‍රියාවන් නියාමනය කෙරේ
මෙම චක්‍රලේඛය දන්සල් සඳහා පමණක් සීමා නොවන බවත්, වෙසක් සහ පොසොන් උත්සව සමයන්හිදී සිදුවන විවිධ ආගමික නොවන, සදාචාර විරෝධී හෝ බුද්ධ ශාසනයට නොගැලපෙන ඇතැම් පූජාවන් සහ ක්‍රියාකාරකම් නියාමනය කිරීමට ද මෙයින් උපදෙස් දී ඇති බව කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව ඉදිරි උත්සව සමයන්හිදී දන්සල් සංවිධානය කරන සියලුම පාර්ශවයන් මෙම උපදෙස් මාලාව දැඩිව පිළිපැදිය යුතු අතර, බෞද්ධ අනන්‍යතාවය සහ සංස්කෘතික සාරධර්ම ආරක්ෂා වන අයුරින් කටයුතු කිරීම සැමගේ වගකීමක් බව ද බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සිහිපත් කර සිටියි.










