එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) සේවා සපයන ආයතනයක ඊමේල් ගිණුමක් හැක් කර සිදුකළ මූල්‍ය වංචාවක් සහ ඉන්දියාවේ චෙන්නායි කාර්යාලයේ සිදුවූ මිලියන ගණනක මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය නිල වශයෙන් කරුණු පැහැදිලි කර තිබේ.
පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දුන් මෙම සිදුවීම් ද්විත්වය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රීලංකන් ගුවන් සේවය පවසන්නේ වංචාවන්ට සම්බන්ධ පාර්ශවයන්ට එරෙහිව දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් නීතිමය පියවර ගෙන ඇති බවයි.
1. ඩුබායි ඊමේල් හැකින් ප්‍රහාරය: ඩිරාම් 974,000කට වෙච්ච දේ
ඩුබායි හි පිහිටි සේවා සපයන ආයතනයක් වෙත ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් ගෙවන ලද ඩිරාම් (AED) 974,000ක මුදලක් තමන් වෙත ලැබී නොමැති බව එම ආයතනය දැනුම් දී ඇත. පසුව සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ තෙවන පාර්ශවයක හැකර්වරුන් පිරිසක් විසින් අදාළ සේවා සපයන්නාගේ විද්‍යුත් තැපැල් (Email) ගිණුමට අනවසරයෙන් ඇතුළු වී මෙම මංකොල්ලය සිදුකර ඇති බවයි.
- ක්‍රියාත්මක වූ උපක්‍රමය: හැකර්වරුන් විසින් බැංකු ගිණුම් විස්තර වෙනස් කර, නිල සන්නිවේදන නාලිකා ඔස්සේ අසත්‍ය ලේඛන සපයමින් ශ්‍රීලංකන් ගුවන් සේවය මුළා කර තිබේ.
- ගුවන් සේවයේ ස්ථාවරය: මෙම වංචාව සේවා සපයන්නාගේ පද්ධතියේ දුර්වලතාවක් මත සිදුවූවක් බැවින්, මුදල් නොලැබීම සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය වගකීමක් භාර නොගනී.
- වත්මන් පියවර: දැනගත් වහාම ගිණුමට තවදුරටත් මුදල් බැරවීම වළක්වා ඇති අතර, UAE බලධාරීන්ට සහ ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිලි කර විමර්ශන අරඹා ඇත.
2. චෙන්නායි කාර්යාලයේ අභ්‍යන්තර වංචාව: ඉන්දීය රුපියල් මිලියන 22ක් අතුරුදන්!
මේ අතර, ඉන්දියාවේ චෙන්නායි හි පිහිටි ශ්‍රීලංකන් ගුවන් සේවා කාර්යාලයේ මුදල් අංශයේ සේවය කළ ඉන්දීය ජාතික සේවකයින් කිහිපදෙනෙකු විසින් කාලයක් තිස්සේ ඉන්දීය රුපියල් (INR) මිලියන 22ක දැවැන්ත මුදලක් අවභාවිත කර ඇති බව සමාගම අනාවරණය කරයි.
සිදුකළ වංචාව: මොවුන් ව්‍යාජ ලෙස ඉන්වොයිස් (Invoices), ගෙවීම් විස්තර සහ අත්සන් වෙනස් කරමින් සූක්ෂ්ම ලෙස මෙම වංචාව සිදුකර ඇත.
කොළඹ ප්‍රධාන කාර්යාලය මඟින් සිදුකළ හදිසි අභ්‍යන්තර විමර්ශනයකදී මෙම වංචාව හෙළි වී ඇති අතර, ඉන්පසුව අදාළ සැකකාර සේවකයින් සේවයට වාර්තා කිරීම මඟ හැර පලා ගොස් තිබේ. ඔවුන්ට එරෙහිව දැඩි විනය පියවර ගෙන ඇති ශ්‍රීලංකන් ගුවන් සේවය, සිද්ධිය වහාම ඉන්දීය නීති බලාත්මක කිරීමේ බලධාරීන් වෙත යොමු කර ඇත.
සිදුවූ සමස්ත මූල්‍ය අලාභය කෙසේ හෝ අයකර ගැනීමට අවශ්‍ය සියලු නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ශ්‍රීලංකන් ගුවන් සේවය වැඩිදුරටත් අවධාරණය කර සිටී.











